පර්සියානු ගල්ෆ් කලාපයේ සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ අමෙරිකාවට සහ බ්‍රිතාන්‍යයට අයත් තෙල් නැව් තුනකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබේ. ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA වාර්තා කරන පරිදි මෙම ප්‍රහාරවලින් පසු අදාළ නෞකා ගිනි ගනිමින් පවතින බව සඳහන් වුවද, අමෙරිකානු හෝ බ්‍රිතාන්‍ය බලධාරීන් මෙතෙක් එම පුවත නිල වශයෙන් තහවුරු කර නොමැත.
මේ අතර බ්‍රිතාන්‍ය සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) සිය දෛනික වාර්තාව මගින් තහවුරු කර ඇත්තේ අදාළ මුහුදු කලාපයේ නෞකා දෙකක හඳුනා නොගත් ප්‍රහාර හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවයි. ලෝකයේ තෙල් ප්‍රවාහනය සඳහා භාවිත කරන තීරණාත්මක මංසන්ධියක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය පවතින අනතුරුදායක තත්ත්වය හමුවේ මේ වන විට වසා දමා ඇති අතර, මෙය ජාත්‍යන්තර වෙළෙඳාමට සහ ගෝලීය තෙල් මිල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














