ඉරාන – ඇමරිකානු යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර කරමින් රතු මුහුදේ ස්ථානගත කර ඇති ‘USS Gerald R Ford’ ගුවන් යානා වාහක නෞකාවට සැපයුම් සහ සේවා සපයන සියලුම මධ්‍යස්ථාන ‘නීත්‍යානුකූල ඉලක්ක’ ලෙස සලකා ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) අනතුරු අඟවයි. ලොව දියුණුම යුද නෞකාවක් ලෙස සැලකෙන මෙම නෞකාව මේ වන විට සෞදි අරාබියේ ජෙඩා (Jeddah) වරාය ආසන්නයට පැමිණ ඇති බව වාර්තා වේ.
ඇමරිකානු නෞකාවට අවශ්‍ය ඉන්ධන, ආහාර, නඩත්තු කටයුතු සහ අනෙකුත් ලොජිස්ටික් සහය ලබා දෙන රතු මුහුද අවට පිහිටි සියලුම මධ්‍යස්ථාන ඉරාන ප්‍රහාරක ඉලක්ක පරාසය තුළ පවතින බව ඔවුන් අවධාරණය කරයි. USS Gerald R Ford නෞකාව තනිව ක්‍රියාත්මක නොවන්නක් වන අතර එය මිසයිල නාශක නෞකා, විනාශකාරී නෞකා සහ සැපයුම් නෞකා රැසකින් සමන්විත ප්‍රහාරක බලඇණියක මූලස්ථානය ලෙස ක්‍රියා කරයි. ඉරාන හමුදා මෙම ඇමරිකානු නෞකාව තම මෙහෙයුම් කලාපයට ඇතුළු වන තෙක් බලා සිටින බවත් එය සිදුවූ වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉරාන අණදෙන නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මැදපෙරදිග කලාපයේ බලශක්ති මාර්ග සහ නාවික ගමන් මාර්ග ආශ්‍රිතව පවතින මෙම උණුසුම් තත්ත්වය හේතුවෙන් ගෝලීය වෙළඳපොළ සහ ආරක්ෂාව පිළිබඳ බරපතළ අවදානමක් මතුව ඇත.














