බටහිර බෙංගාලයේ මල්ඩා (Malda) දිස්ත්‍රික්කයේ මොතාබාරි (Mothabari) මැතිවරණ කොට්ඨාසයේ ඉන්දීය සෙකියුලර් ෆ්‍රන්ට් (ISF) අපේක්ෂක මවුලානා මුහම්මද් ෂාජහාන් අලි කද්‍රි (Maulana Muhammad Shahjahan Ali Qadri) ඇතුළු 18 දෙනෙකු පොලිසිය විසින් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ. මැතිවරණ නාමලේඛනවලින් නම් ඉවත් කිරීමට එරෙහිව ඇති වූ ප්‍රචණ්ඩකාරී විරෝධතාවයක් අතරතුර අධිකරණ නිලධාරීන් පිරිසක් පැය අටක කාලයක් ප්‍රාණ ඇපයට තබා ගැනීම සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී ඇත.
පසුගිය බදාදා රාත්‍රියේ මොතාබාරි බ්ලොක් සංවර්ධන නිලධාරී (BDO) කාර්යාලය වටලෑමට පැමිණි දහස් සංඛ්‍යාත පිරිසක්, කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු අධිකරණ නිලධාරීන් හත් දෙනෙකු සිර කර තබා ඇති අතර තවත් නිලධාරිනියක් සිය මෝටර් රථය තුළම සිර වී සිට ඇත. රාත්‍රී 10 වන තෙක් ක්‍රියාත්මක වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වයෙන් නිලධාරීන් මුදා ගැනීමට පොලිසියට දැඩි උත්සාහයක් දැරීමට සිදු වූ අතර එහිදී විරෝධතාකරුවන් විසින් පොලිස් රථවලට ගල් ප්‍රහාර ද එල්ල කර තිබේ.
මැතිවරණ කොමිසමට සහ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර්ට (Gyanesh Kumar) එරෙහිව සටන් පාඨ කියමින් ජාතික මහා මාර්ග ද අවහිර කරමින් සිදු කළ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර අපේක්ෂකයාගේ පුතුන් දෙදෙනෙකු ද සිටින බව වාර්තා වේ. සාමය කඩ කිරීම, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පොදු දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇත.
















