ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනය වූ ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලාරිජානි සහ යුද්ධය ආරම්භයේදී ඇමරිකානු ප්‍රහාර හමුවේ ගිලී ගිය ඉරාන නාවික නෞකාවේ සේවය කළ සෙබළුන් වෙනුවෙන් ටෙහෙරාන් නුවර ‘විප්ලව චතුරස්‍රයේ’ (Revolution Square) අද දැවැන්ත අවමංගල්‍ය උත්සවයක් පවත්වා තිබේ. යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානයේ දක්නට ලැබුණු විශාලතම ජන සහභාගීත්වය මෙය බවත්, දහස් සංඛ්‍යාත පිරිසක් හඬා වැලපෙමින් මියගිය නිලධාරීන්ගේ දේහයන් රැගත් රථ පෙරහැර වටා රොක්ව සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙහිදී අදහස් දැක්වූ ඉරාන වැසියන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි විරෝධය පළ කළ අතර, තම නායකයින් ඝාතනය කිරීම හරහා සතුරාගේ දුර්වලකම පෙන්නුම් කරන බව ඔවුහු පවසා සිටියහ. විශේෂයෙන්ම “අප සියලු දෙනාම මියගියත් රට සතුරාට පාවා නොදෙන” බවට සඳහන් වැකි ප්‍රදර්ශනය කරමින් ඉරාන වැසියන් සිය රජය කෙරෙහි පවතින සහයෝගය ප්‍රදර්ශනය කළහ. බෝම්බ හෙළා ඉරානය මෙල්ල කළ නොහැකි බවත්, මෙම අවමංගල්‍ය උත්සවයේදී දක්නට ලැබුණු ජනතා උද්යෝගය හරහා ඉරාන රජය තවදුරටත් ශක්තිමත්ව පවතින බව ලොවට පෙන්වීමට උත්සාහ කර ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.














