ඊශ්‍රායලය විසින් ජෙරුසලමේ පිහිටි අල්-අක්සා පල්ලිය වසා දැමීමට ගෙන ඇති පියවර අරාබි සහ ඉස්ලාමීය රටවල් අටක් එක්ව දැඩි ලෙස හෙළා දැක තිබේ. කටාර්, ජෝර්දානය, ඉන්දුනීසියාව, තුර්කිය, පකිස්ථානය, සෞදි අරාබිය, ඊජිප්තුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් මෙලෙස සිය විරෝධය පළ කර ඇති බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ශුද්ධ වූ රාමසාන් මාසය පවතින වකවානුවක අඛණ්ඩව 12 වන දිනටත් මෙලෙස වන්දනාකරුවන්ට පල්ලිය වසා තැබීම ගැටලුකාරී තත්ත්වයක් බව එම රටවල් පෙන්වා දෙයි.
අදාළ රටවල විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ අල්-අක්සා පල්ලියේ දොරටු වහාම විවෘත කළ යුතු බවත්, පැරණි ජෙරුසලම් නගරයට ප්‍රවේශ වීම සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කළ යුතු බවත්ය. මුස්ලිම් වන්දනාකරුවන්ට සිය ආගමික වතාවත්වල නිරත වීමට ඇති අයිතියට බාධා නොකරන ලෙස ඔවුන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියහ. තවද, ඊශ්‍රායලය සිදු කරන මෙම මානව හිමිකම් සහ ආගමික නිදහස උල්ලංඝනය කිරීම් නතර කිරීමට මැදිහත් වන ලෙස එම රටවල් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.














