ඉරානය සහ එහි මිත්‍ර පාර්ශවයන් සමඟ පවතින අඛණ්ඩ යුද්ධය හමුදා ශක්තියෙන් පමණක් ජයග්‍රහණය කිරීම දුෂ්කර වනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ අනතුරු අඟවති. ඇමරිකානු සහාය ඇතිව ඉරානයට එරෙහිව ප්‍රබල ප්‍රහාර එල්ල කළද, ගාසා තීරය, සිරියාව සහ ලෙබනනය යන පෙරමුණු කිහිපයක එකවර සටන් කිරීමට සිදුවීම ඊශ්‍රායලයට දැඩි පීඩනයක් එල්ල කර තිබේ. විශේෂයෙන්ම ලෙබනනයේ දකුණු ප්‍රදේශයේ ආරක්ෂිත කලාප (Buffer Zones) පිහිටුවීමට ඊශ්‍රායලය ගන්නා උත්සාහය හේතුවෙන් 600,000කට අධික පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇති අතර මෙය කලාපීය අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වීමට හේතු වී ඇත.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යුද්ධය හරහා ස්ථීර සාමයක් පොරොන්දු වුවද, යථාර්ථය වන්නේ ඊශ්‍රායලය “නිමක් නැති යුද්ධයක” (Perma-war) සිරවී සිටින බවයි. ඉරානයේ පාලන තන්ත්‍රය තවමත් බලයේ පවතින අතර ඔවුන් සතුව න්‍යෂ්ටික බෝම්බ නිපදවීමට අවශ්‍ය තරම් සාරවත් කරන ලද යුරේනියම් තොග පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති. හමුදාමය ජයග්‍රහණ ලැබුවද, දේශපාලනික සහ රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් නොමැති වීම හේතුවෙන් ඊශ්‍රායලය සිය අසල්වැසි අරාබි රටවල් සමඟ පවතින සබඳතා ද පළුදු කරගනිමින් සිටින බව විචාරක මතයයි.
දිගින් දිගටම පවතින මෙම යුදමය වාතාවරණය ඊශ්‍රායල ආර්ථිකයට සහ ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී. ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 45ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ලක්ෂ සංඛ්‍යාත අතිරේක හමුදා භටයින්ට (Reservists) දිගින් දිගටම සේවයේ රැඳී සිටීමට සිදුවීම සමාජීය ගැටලු නිර්මාණය කර තිබේ. හමුදා බලය මඟින් සතුරන් මර්දනය කළ හැකි වුවද, කලාපය තුළ තිරසාර සාමයක් ඇති කිරීමට නම් රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව මෙම වාර්තාව වැඩිදුරටත් අවධාරණය කරයි.















