ඉරානයට එරෙහිව ක්‍රියාත්මක මෙහෙයුමේ “ඊළඟ අදියර වෙත” තමන් අවතීර්ණ වන බව ඊශ්‍රායල ආරක්ෂක අංශයේ (IDF) මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් එයාල් සමීර් පවසයි. ඉරාන පාලනය සහ එරට මිලිටරි හැකියාවන් තවදුරටත් විනාශ කිරීම මෙම අදියරේ ප්‍රධාන අරමුණ බවත්, ඉදිරියේදී තවත් “පුදුම කිරීම්” රැසක් සිදු කරන බවත් ඔහු අවධාරණය කළේය.
පසුගිය දින හය පුරා ඇමරිකාව සමඟ එක්ව සිදු කළ ප්‍රහාර මඟින් ඉරානය මූලෝපායිකව හුදකලා කර පෙර නොවූ විරූ දුර්වල තත්ත්වයකට පත් කර ඇති බව ඔහු සඳහන් කරයි. ගුවන් ආධිපත්‍යය තහවුරු කර ගනිමින් බැලස්ටික් මිසයිල පද්ධතිය අඩපණ කළ පළමු අදියර අවසන් වී ඇති බව පෙන්වා දුන් ඔහු, හිස්බුල්ලා සංවිධානය මෙම සටනට එක්වීම මූලෝපායික වැරද්දක් බව ද පවසා සිටියේය. මේ වන විට ලෙබනනයේ ඉදිරි පෙළට මෙන්ම රට අභ්‍යන්තරයට ද ඊශ්‍රායලය ප්‍රබල ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














