මැදපෙරදිග කලාපය පුරා ඇවිළෙන යුද ගින්න තවදුරටත් උත්සන්න කරමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් අගනුවර පිහිටි ක්‍රීඩාංගණ ඇතුළු ස්ථාන රැසකට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාරයන්ට සමගාමීව ලෙබනනයේ බීරූට් අගනුවර පිහිටි හිස්බුල්ලා විධායක මධ්‍යස්ථාන ද ඊශ්‍රායලයේ ප්‍රහාරයන්ට ලක්ව ඇති බවයි නවතම වාර්තා පෙන්වා දෙන්නේ.
ඊශ්‍රායලයේ මෙම ක්‍රියාවට ප්‍රතිචාර ලෙස ඉරානය ද සිය මිසයිල ප්‍රහාර මාලාවන් දියත් කර ඇති අතර, එහි වඩාත්ම කැපී පෙනෙන සිදුවීම වී ඇත්තේ ඉරානයේ උතුරුදිග අසල්වැසියා වන අසර්බයිජානයට ද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වීමයි. මේ අනුව මෙම මහා පරිමාණ යුද ගැටුම ආරම්භ වූ දින සිට මේ දක්වා ප්‍රහාරයන්ට ලක්වූ 13 වැනි රාජ්‍යය බවට අසර්බයිජානය පත්ව තිබෙනවා.
ලෝක දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ ක්‍රීඩාංගණ වැනි සිවිල් ස්ථාන පවා යුද ඉලක්ක බවට පත්වීමෙන් පෙනී යන්නේ මෙම ගැටුම කිසිදු සීමාවකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතින බවයි. කලාපීය බලවතුන් මෙන්ම අනෙකුත් රාජ්‍යයන් ද මෙම ගැටුමට සෘජුව හා වක්‍රව මැදිවීම නිසා මුළුමහත් මැදපෙරදිග කලාපයම මහා විනාශයක අද්දරට පැමිණ ඇති බවයි වෝල් ස්ට්‍රීට් ජර්නල් (WSJ) වාර්තාව පෙන්වා දෙන්නේ.














