ඉරානයට එරෙහිව අඛණ්ඩව යුද වදින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (මාර්තු 19) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. මෙහිදී ඔහු විශේෂයෙන් සඳහන් කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ඉරානයේ බලශක්ති මූලාශ්‍ර වෙත එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කළ ද, ඇමෙරිකාව යුද්ධයකට පෙළඹවූයේ ඊශ්‍රායලය නොවන බවයි. අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කරන අතරතුර ද ජෙරුසලමට ඉරාන ප්‍රහාර එල්ල වූ බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
ඊශ්‍රායලය විසින් ඉරානයේ විශාලතම ස්වාභාවික වායු පිරිපහදුව වන ‘සවුත් පාර්ස්’ (South Pars) මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය දරුණු ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කටාර්හි ‘රාස් ලැෆාන්’, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘අල් – හොසන්’, සෞදි අරාබියේ ‘සැම්රෙෆ්’ සහ කුවේටයේ ‘මිනා අබ්දුල්ලා’ යන බලශක්ති මර්මස්ථාන ඉලක්ක කරමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත. කුවේට් පිරිපහදුවට එල්ල වූ ප්‍රහාරයෙන් එහි විශාල ගින්නක් ද හටගෙන තිබේ.
මෙම තත්ත්වය හමුවේ කලාපීය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ද දැඩි අර්බුදයකට ලක්ව ඇත. තම රටේ බලශක්ති මධ්‍යස්ථානවලට එල්ල වූ ප්‍රහාරයට සෘජුවම ඉරානය වගකිව යුතු බව පවසමින් කටාර් රාජ්‍යය එරට සිටින ඉරාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාට පැය 24ක් තුළ රටින් පිටව යන ලෙස නියෝග කළේය. ආර්ථික විචාරකයන් පෙන්වා දෙන්නේ ඉරානයේ ගෑස් අවශ්‍යතාවයෙන් 70%ක් සපයන යටිතල පහසුකම්වලට ඊශ්‍රායලය පහර දීමත් සමඟ මෙම ගැටුම දැන් “බලශක්ති යුද්ධයක්” දක්වා පරිවර්තනය වී ඇති බවයි.
මීට අමතරව, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකාවලින් ගාස්තු සහ බදු අයකිරීමේ යෝජනාවක් ද ඉරාන පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙමින් පවතින බව වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ විදේශ අමාත්‍යවරුන් රියාද් නුවරදී සාකච්ඡාවක නිරතව සිටින අතරතුර මෙම ප්‍රහාර එල්ල වීම ද විශේෂත්වයකි. මෙම දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ වායු මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.














