ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ, ඉරානය විසින් එල්ල කළ පොකුරු බෝම්බ (Cluster bomb) ප්‍රහාරයකින් 11 හැවිරිදි දැරියක් බරපතළ තුවාල ලබා ඇති බව අද (01) වාර්තා විය. ඊශ්‍රායලයේ බෙනී බ්‍රැක් (Bnei Brak) නගරය ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ප්‍රහාර මාලාවෙන් තවත් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් අතර බරපතළ තත්ත්වයේ පසුවන පිරිමි ළමයෙකු ද සිටින බව වාර්තා වේ. මීට අමතරව, ඊශ්‍රායලයේ දකුණු දිග ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් හූති සටන්කාමීන් (Houthi) විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරයක් ද ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) විසින් සාර්ථකව මැඩපවත්වා ඇත.
ධවල මන්දිරය නිවේදනය කළේ, පවතින ඉරාන යුද්ධය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) අද (බදාදා) රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බවයි. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් වර්ධනය වී තිබේ.














