ඊශ්‍රායලයේ අතිනවීන ‘අයන් ඩෝම්’ ගුවන් ආරක්ෂණ පද්ධතියේ සේවය කළ සංචිත හමුදා සෙබළෙකු (Reservist), ඉරාන බුද්ධි අංශ වෙත සංවේදී ආරක්ෂක තොරතුරු ලබා දුන් බවට ලැබුණු සැකය මත අද (මාර්තු 20) අත්අඩංගුවට ගෙන තිබේ. ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක්ව ඉරානය සමඟ පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ මෙම පුවත ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජෙරුසලමේ පදිංචි 26 හැවිරිදි රාස් කොහෙන් (Raz Cohen) නැමැති අයෙකි. ඔහු අයන් ඩෝම් පද්ධතියේ සේවය කරමින් සිටියදී මාස කිහිපයක සිට ඉරාන බුද්ධි අංශ නියෝජිතයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත්, ඔවුන්ගේ උපදෙස් මත ඊශ්‍රායලයේ ඉතා සංවේදී ආරක්ෂක තොරතුරු ලබා දීමට කටයුතු කර ඇති බවත් ඊශ්‍රායල පොලිසිය සඳහන් කරයි.
පසුගිය පෙබරවාරි 28 වනදා ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ ආරම්භ වූ ඇමෙරිකානු – ඊශ්‍රායල යුද මෙහෙයුම්වලට ප්‍රතිචාර වශයෙන් ඉරානය දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටී. මෙම මිසයිල බහුතරයක් අයන් ඩෝම් පද්ධතිය මඟින් සාර්ථකව විනාශ කළ ද, ඇතැම් ප්‍රහාර උපායමාර්ගික ස්ථානවලට පතිත වී ජීවිත හානි සහ දේපළ හානි සිදු කර තිබේ.
අයන් ඩෝම් පද්ධතියේ රහස් හෙළි වීම ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂාවට දැඩි තර්ජනයක් විය හැකි බව ආරක්ෂක විශ්ලේෂකයෝ පවසති. සැකකරු විසින් ලබා දුන් තොරතුරු මොනවාද සහ ඉන් ඊශ්‍රායලයේ ආරක්ෂක පද්ධතියට සිදුව ඇති බලපෑම පිළිබඳව මේ වන විට දැඩි විමර්ශන ආරම්භ කර ඇත.













