ඉරානයේ මධ්‍යම ප්‍රදේශයේ පිහිටි මාර්කසි (Markazi) පළාතේ අගනුවර වන ආරක් (Arak) නගරයේ ඇතැම් ප්‍රදේශවල පදිංචි ජනතාවට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) අද (27) රාත්‍රියේ හදිසි නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ. ඉදිරි පැය කිහිපය ඇතුළත එම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් දියත් කරන බව ඊශ්‍රායල හමුදාව අවධාරණය කරයි. ඉරාන පාලන තන්ත්‍රයේ හමුදා යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
ඊශ්‍රායල හමුදාව සිය නිල ‘X’ (ට්විටර්) ගිණුම හරහා පර්සියානු (Farsi) භාෂාවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහි සඳහන් වන්නේ ජනතාවගේ ආරක්ෂාව සහ සුභසාධනය වෙනුවෙන් වහාම අදාළ ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි. එම කලාපවල රැඳී සිටීම ජීවිත අවදානමක් බවට ද ඔවුහු අනතුරු අඟවති. ආරක් නගරය ඉරානයේ ප්‍රධාන කාර්මික මධ්‍යස්ථානයක් මෙන්ම න්‍යෂ්ටික සහ හමුදාමය වශයෙන් වැදගත් ස්ථාන රැසක් පිහිටි නගරයක් වීම නිසා මෙම අනතුරු ඇඟවීම ලෝක දේශපාලන කරළිය තුළ දැඩි උණුසුමක් ඇති කර තිබේ.














