ඊශ්‍රායල සහ ඇමෙරිකානු ඒකාබද්ධ හමුදා ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, ඊශ්‍රායලය මේ වන විට ලෙබනනයට එරෙහිව දැවැන්ත යුද මෙහෙයුමක් ආරම්භ කර තිබේ. හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් එල්ල වන මෙම ප්‍රහාර හේතුවෙන් කලාපීය ආරක්ෂාව අතිශය බරපතළ මට්ටමකට පත්ව ඇත.
පසුගිය දින දෙක පුරා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් ලෙබනන් වැසියන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, පුද්ගලයන් 58,000කට අධික පිරිසක් සිය නිවාස අතහැර අවතැන්ව සිටින බව වාර්තා වේ.
ගුවන් ප්‍රහාරවලින් නොනැවතී, ලෙබනනය තුළට ගොඩබිම් හමුදා යැවීමට ද ඊශ්‍රායලය සූදානම් වෙමින් සිටී. ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇත්තේ හිස්බුල්ලා තර්ජනය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ඕනෑම පියවරක් ගැනීමට තමන් සූදානම් බවයි.
ලෙබනනයට ගොඩබිම් හමුදා යැවීමේ ඊශ්‍රායල තීරණයට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සිය දැඩි විරෝධය පළ කර තිබේ. ලෙබනනය අතීතයේ ප්‍රංශ යටත් විජිතයක්ව පැවතීම නිසාත්, එහි පවතින මානුෂීය අර්බුදය සැලකිල්ලට ගෙනත්, එවැනි ක්‍රියාවකින් වළකින ලෙස ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර ඇත.
ඉරානයේ පූර්ණ අනුදැනුම සහ සහාය මත ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය, ගාසා තීරයේ හමාස් සංවිධානයට ද අවි පුහුණුව සහ ආයුධ සපයන ප්‍රධානතම පාර්ශවය වේ. ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයත් සමඟ හිස්බුල්ලා සංවිධානය සිය ප්‍රහාරක වේගය වැඩිකර තිබේ.














