ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදාව එල්ල කළ විශේෂ ප්‍රහාරයකින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රබල අණදෙන නිලධාරියෙකු වන අදම් අද්නාන් අල්-ඔත්මාන් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. එම සංවිධානයේ සන්නද්ධ අංශය වන “කුඩ්ස් බ්‍රිගේඩ්ස්” විසින් ද සිය නායකයාගේ මරණය තහවුරු කර ඇති අතර, ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. මෑත කාලීනව ලෙබනනය කේන්ද්‍ර කර ගනිමින් නව සාමාජිකයන් බඳවා ගැනීම, පුහුණු කිරීම සහ නවීන ආයුධ රැස් කිරීමේ ක්‍රියාවලිය පිටුපස සිටි ප්‍රධාන මොළකරු ලෙස ද අල්-ඔත්මාන් හඳුනාගෙන තිබුණා. මෙම ඝාතනයත් සමඟ කලාපය තුළ පවතින ගැටුම්කාරී තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවට විදෙස් දේශපාලන විචාරකයන් අනතුරු අඟවනවා.














