මැදපෙරදිග කලාපය තුළ ඉරානය සතු යුදමය බලපෑම අවම කිරීමේ අරමුණින් ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කර ගනිමින් අති දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාරයත් සමඟ කලාපීය යුද වාතාවරණය අතිශය උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර, දෙපාර්ශ්වයම දැවැන්ත මෙහෙයුම් කිහිපයක් දියත් කර ඇති බව අද (මාර්තු 03) වාර්තා වේ.
ඊශ්‍රායලය විසින් දියත් කරන ලද ‘Operation Lion’s Roar’ මෙහෙයුම සඳහා ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා නිලධාරිනියන් 30 දෙනෙකු සෘජුවම දායකත්වය ලබා දී තිබීම විශේෂත්වයකි. මෙම ප්‍රහාර මාලාව හරහා ටෙහෙරාන් අගනුවර පිහිටි ඉලක්ක රැසකට දැඩි හානි සිදුව ඇති අතර, එරට පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලක් ද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ‘Operation Epic Fury’ මෙහෙයුම යටතේ ‘USS Abraham Lincoln’ ප්‍රහාරක නෞකාවේ සිට ඉරානයට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම ඉරානයේ බැලැස්ටික් මිසයිල මර්මස්ථාන විනාශ කිරීම සඳහා බෝම්බ හෙළිය හැකි අති නවීන B-1 බෝම්බ හෙළන යානා ද මෙහෙයුමට එක්කර තිබේ. මෙම ප්‍රහාරවලින් ඉරාන නාවික හමුදාවට අයත් නෞකා කිහිපයක් ද මුහුදේ ගිල්වා දැමූ බව ඇමෙරිකානු මාධ්‍ය සනාථ කළේය.
මෙම ප්‍රහාරවලින් පසු අදහස් දැක්වූ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙටන්යාහු මහතා ප්‍රකාශ කළේ, මෙය “අවසානයක් නොමැති යුද්ධයක්” නොවන බවත්, තම රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු උපරිම පියවර ගන්නා බවත්ය. කෙසේ වෙතත්, ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගෙන ඇති තීරණය ද සමඟ ලෝක වෙළඳපොළ සහ ආරක්ෂාව පිළිබඳ බරපතල තර්ජනයක් මතුව තිබේ.














