ප්‍රකට රූපලාවන්‍ය සන්නාමයන් වන සෙෆෝරා (Sephora) සහ බෙනෆිට් (Benefit) යන ආයතන කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් වයස්ගත වීම වැළැක්වීමේ (Anti-aging) ආලේපන අලෙවි කිරීමට උත්සාහ කර ඇති බවට එල්ල වන චෝදනා මත ඉතාලි තරඟකාරීත්ව අධිකාරිය (AGCM) විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම ආයතනවල හිමිකාරීත්වය දරන ප්‍රංශයේ LVMH සුඛෝපභෝගී භාණ්ඩ සමාගමට එරෙහිව මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් යොදාගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ රූපලාවන්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම හරහා දරුවන් තුළ රූපලාවන්‍ය ආලේපන පිළිබඳ අසාමාන්‍ය ඇබ්බැහියක් (Cosmeticorexia) ඇති කිරීමට මෙම සමාගම් කටයුතු කර ඇති බවට බලධාරීන් සැක පළ කරයි. විශේෂයෙන්ම තරුණ බලපෑම්කරුවන් (Influencers) හරහා මුහුණු ආලේපන, සීරම් සහ ක්‍රීම් වර්ග මිලදී ගැනීමට දරුවන් පොළඹවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
චර්ම රෝග විශේෂඥයන් පෙන්වා දෙන්නේ වැඩිහිටියන් සඳහා නිපදවන මෙවැනි රූපලාවන්‍ය නිෂ්පාදන කුඩා දරුවන්ගේ සමට අහිතකර බලපෑම් ඇති කළ හැකි බවයි. සමේ අසාත්මිකතා සහ ස්ථිර චර්ම රෝග ඇතිවීමේ අවදානමක් පවතින බැවින් මෙම නිෂ්පාදන භාවිතය පිළිබඳව නිසි අනතුරු ඇඟවීම් සිදු නොකිරීම සම්බන්ධයෙන් ද ඉතාලි බලධාරීන් සිය අවධානය යොමු කර තිබේ. LVMH සමාගම පවසා ඇත්තේ තමන් ඉතාලි නීතිරීතිවලට අනුකූලව කටයුතු කර ඇති බවත් මෙම පරීක්ෂණ සඳහා පූර්ණ සහය ලබාදෙන බවත්ය.














