හෝමුස් සමුද්‍ර සන්ධිය අසල රැඳී ඇති තම නෞකා හැකි ඉක්මනින් ඉවත් කර ගැනීමට ජපානයේ ප්‍රමුඛතම නාවික සමාගමක් වන Mitsui O.S.K. Lines (MOL) සූදානමින් සිටින නමුත්, ඒ සඳහා ආරක්ෂිත වාතාවරණය සහ ජපාන රජයේ මඟපෙන්වීම අත්‍යවශ්‍ය බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජෝතාරෝ තමුරා පවසයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර සති දෙකක සටන් විරාමයකට එකඟතාව පළ වී තිබුණද, ඉරානය විසින් පනවා ඇති මුහුදු මාර්ග අවහිරතාව මෙතෙක් ඉවත් කර නොමැති වීම මෙම තීරණයට බාධාවක් වී ඇත.
සටන් විරාමය අදාළ මුහුදු කලාපය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තවමත් පැහැදිලි බවක් නොමැති නිසා, තම නෞකා ගමන් කරවීමට පෙර ආරක්ෂක අවදානම අවම මට්ටමක පවතින බව තහවුරු කර ගත යුතු බව තමුරා මහතා අවධාරණය කළේය. මේ වන විටත් MOL සමාගමට අයත් නෞකා කිහිපයක් ගල්ෆ් කලාපයේ රැඳී පවතින අතර, මැයි මස අවසානය දක්වා මෙහෙයුම් සඳහා අවශ්‍ය ඉන්ධන තොග තමන් සතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ලෝක බලශක්ති සැපයුම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කරන මෙම සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනය යථා තත්ත්වයට පත් වීම දෙස ජාත්‍යන්තර වෙළඳ ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.














