ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ නව පිම්මක් සනිටුහන් කරමින්, දශකයකට පසු දෙරට අතර පැවැත්වුණු ‘කර්මාන්ත ආයෝජන සංවාදය’ පසුගිය 17 වනදා කොළඹදී පැවැත්විණි. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා සඳහන් කළේ, වසර 10කට පසු ජපාන රජය මෙරට ආයෝජන කෙරෙහි මෙතරම් ඉහළ උනන්දුවක් දක්වන පළමු අවස්ථාව මෙය බවයි.
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ජපානයේ Mitsubishi, Itochu, Mitsui, Dole Asia, Tokyo Kyodo Holdings සහ Nomura Research Institute වැනි ලොව සුපතල සමාගම්වල නියෝජිතයින් එක්ව සිටියහ. ඔවුන් විශේෂයෙන්ම ආහාර, තොරතුරු තාක්ෂණ, බලශක්ති, ප්‍රවාහන, කෘෂිකාර්මික සහ තීරණාත්මක ඛනිජ (Critical Minerals) යන ක්ෂේත්‍රවල සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට දැඩි කැමැත්තක් පළ කර තිබේ. ශ්‍රී ලංකාවට ‘කලාපීය අගය දාමයට’ (Regional Value Chain) පිවිසීමට අවශ්‍ය තාක්ෂණික සහ ආර්ථික සහය ලබා දීමට ජපානය සූදානම් බව මෙහිදී අවධාරණය කෙරිණි.
අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ජපානය වැනි විශ්වාසවන්ත මිතුරෙකු මෙරට කාර්මික පුනර්ජීවනයට එක්වීම අගය කළ අතර, එළඹෙන ජුනි මාසයේ පැවැත්වෙන “EXPO 2026” ජාත්‍යන්තර ප්‍රදර්ශනයට එක්වන ලෙස ජපන් ආයෝජකයින්ට ආරාධනා කළේය. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු දෙරටේම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















