මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙවර ගිම්හාන නිවාඩු සමයේදී ගුවන් ගමන් ගාස්තු සැළකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු අඟවති. අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ සැපයුම් ජාලයන්ට එල්ල වී ඇති බාධා හමුවේ ගුවන් යානා සඳහා භාවිත කරන භූමිතෙල් (Aviation Kerosene) මිල 80% කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
යුරෝපයේ ගුවන් යානා ඉන්ධන ආනයනයෙන් 50% ක්ම සපයනු ලබන්නේ ගල්ෆ් කලාපයෙනි. එම ඉන්ධන තොග බොහොමයක් ප්‍රවාහනය කරනු ලබන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විට ප්‍රායෝගිකව වසා දමා තිබීම මෙම දැවැන්ත මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත. මෙම තත්ත්වය හමුවේ ගාස්තු ඉහළ යාමට අමතරව ඇතැම් ගුවන් ගමන් වාර අවලංගු වීමේ අවදානමක් ද පවතින බව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
මේ වන විටත් ප්‍රකට ගුවන් සේවයක් වන Wizz Air ආයතනය පවසා ඇත්තේ මෙම යුද ගැටුම් සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිය වාර්ෂික ලාභය යුරෝ මිලියන 50 කින් පමණ පහත වැටෙනු ඇති බවයි. අමෙරිකානු United ගුවන් සේවය ඇතුළු ලොව ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් රැසක් මේ වන විට සිය මෙහෙයුම් පිරිවැය කළමනාකරණය කර ගැනීමට දැඩි උත්සාහයක නිරත වේ.














