ලංකා සතොස ආයතනයට අයත් ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන අප්‍රේල් මස 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, ඔහුගේ වැඩිමහල් පුත් ජොහාන් ප්‍රනාන්දු, බාල පුත් ජෙරම් ප්‍රනාන්දු සහ සතොස ආයතනයේ හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු ඇතුළු පිරිසක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති. අද දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී වත්තල අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළ බව වාර්තා වේ.












