බ්‍රිතාන්‍යයේ “The Only Way Is Essex” (TOWIE) රියැලිටි රූපවාහිනී වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් වූ 33 හැවිරිදි ජෝර්ඩන් රයිට් (Jordan Wright) තායිලන්තයේ පූකෙට් (Phuket) හිදී අභිරහස් ලෙස මියගොස් සිටියදී හමු වී තිබේ. පසුගිය මාර්තු 14 වනදා බෑන්ග් ටාඕ (Bang Tao) වෙරළට නුදුරු කාණුවක මුහුණ බිමට හැරී තිබියදී ඔහුගේ සිරුර හමු වූ අතර, ඔහු සොයා ගන්නා විට මියගොස් දින දෙකක් පමණ ගතවන්නට ඇති බව බලධාරීන් විශ්වාස කරයි. මරණයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් තායිලන්ත පොලිසිය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතෙක් බලා සිටින බව වාර්තා වේ.
ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ සේවකයන් පවසන්නේ ජෝර්ඩන් මාර්තු 13 වනදා පිටත්ව යාමට (Check out) නියමිතව සිටියත් එදින නොපැමිණීම නිසා ඔවුන් කලබලයට පත්ව සිටි බවයි. හෝටලයේ CCTV දර්ශන පරීක්ෂා කිරීමේදී ඔහු නොසන්සුන් ස්වභාවයකින් හෝටලය ඉදිරිපිට එහා මෙහා ඇවිද ගොස් පසුව එතැනින් පිටව යන අයුරු දක්නට ලැබී තිබේ. ඔහුගේ සිරුර හමුවන විට ඔහු පාවහන් නොමැතිව සිටි අතර, ඔහු භාවිත කළ අයිෆෝන් (iPhone) යන්ත්‍රය සිරුරට නුදුරු බැම්මක් මත තබා තිබියදී සොයාගෙන ඇත.
ජෝර්ඩන් රයිට් 2018 වසරේදී TOWIE වැඩසටහනේ කථාංග 17කට සහභාගී වෙමින් විශාල ප්‍රසිද්ධියක් ලැබූ අයෙකි. එම වැඩසටහනට සහභාගී වීම සඳහා ලන්ඩන් ගිනි නිවන බලකායෙන් ව්‍යාජ ලෙස අසනීප නිවාඩු ලබාගත් බවට එල්ල වූ චෝදනා මත ඔහුට පසුව එම වැඩසටහනෙන් ඉවත් වීමට සිදු වූ අතර, අනතුරුව ඔහු නැවතත් ගිනි නිවන භටයෙකු ලෙස සේවයට එක් විය. ඔහු මෙම වසර මුලදී තායිලන්තය බලා පදිංචියට ගොස් තිබුණි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් තායිලන්ත පොලිසිය සහ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශය එක්ව වැඩිදුර විමර්ශන පවත්වමින් සිටියි.
















