කඩුගන්නාව නගර සභා බල ප්‍රදේශයට අයත් කොටබෝගොඩ, කඳංගම ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික “වේරකේ ළිඳ” සහ ඒ අවට පරිසරය දැඩි විනාශයකට ලක් කරමින් පුද්ගලයෙකු විසින් සිදුකරනු ලබන අනවසර ඉඩම් ගොඩකිරීම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැඩි චෝදනා එල්ල කරති. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අවසරය ඇති බව පවසමින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් “වේරකේ කුඹුර” නම් කෘෂිකාර්මික ඉඩම නීති විරෝධී ලෙස ගොඩකර ඇති බවට ජනතාව පෙන්වා දෙති. මෙම ඉඩම ගොඩකිරීම සඳහා කිසිදු බලපත්‍රයක් නිකුත් කර නොමැති බවත්, අදාළ පුද්ගලයා ප්‍රදර්ශනය කරන්නේ ව්‍යාජ ලේඛනයක් බවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ලිඛිතවම තහවුරු කර තිබීම විශේෂත්වයකි.
මෙම නීති විරෝධී ක්‍රියාව හේතුවෙන් වසර සියයකට වඩා පැරණි, ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලන පොදු ළිඳට පිවිසෙන මාර්ග සහ පියගැටපෙළ මුළුමනින්ම විනාශ වී ඇති බව වාර්තා වේ. ළිඳට පිවිසීමට තිබූ ඉඩකඩ අවහිර කරමින් වැටවල් ඉදිකිරීම නිසා දරුවන්, කාන්තාවන් සහ මහලු පුද්ගලයන් දැඩි අපහසුතාවයට පත්ව ඇති අතර, නිසි මාවතක් නොමැති බැවින් බොහෝ පිරිසක් ඇද වැටී තුවාල ලබා ඇත. මීට අමතරව, ගම්වාසීන්ට කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට පිවිසීමට තිබූ “සමූපාකාර මාවත” නම් කෙටි මාර්ගය ද අදාළ පුද්ගලයා විසින් බලහත්කාරයෙන් වසා දමා ඇති බවට චෝදනා එල්ල වේ.
කඩුගන්නාව, කොටබෝගොඩ සහ අවට ගම්මාන රැසක ජනතාව පවසන්නේ නියං සමයට පවා ජලය නොසිඳෙන මෙම වටිනා ජල මූලාශ්‍රය රැක ගැනීමට අදාළ බලධාරීන් වහා මැදිහත් විය යුතු බවයි. මෙම නීති විරෝධී කටයුතු සඳහා සමහර රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය ලැබෙන බවට ද ජනතාව සැක පළ කරති. පාරිසරික හානිය වළක්වා, පොදු දේපළ ජනතාවට නිදහසේ පරිහරණය කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.













