දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ කලටුවාව ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටීම හේතුවෙන් හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල සහ කැස්බෑව යන ප්‍රදේශවලට දින හතරකට වරක් ජල සැපයුම සීමා කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ මෙතෙක් පැය 24ක්ව පැවති ජල කප්පාදු කාලසීමාව පැය 18ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බවයි. ඇතැම් ප්‍රදේශවලට තත්ත්වය අනුව මෙම කාලය පැය 3, 6, 12 හෝ 15ක් විය හැකි අතර ඇතැම් ස්ථානවලට කිසිදු ජල සීමා කිරීමක් සිදු නොවන අවස්ථාද පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ජල බිල්පත් දැනුම්දීම් සඳහා ලියාපදිංචි කර ඇති පාරිභෝගිකයන්ගේ ජංගම දුරකථන අංක වෙත කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් මෙම ජලය අත්හිටුවන නිශ්චිත වේලාවන් සහ කාලසීමාවන් කලින් දැනුම් දීමට ජල මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙනවා. කලටුවාව ජලාශයේ දැනට පවතින්නේ තවත් දින 20කට පමණක් සෑහෙන ජල ප්‍රමාණයක් බැවින් දිනපතා මුදාහරින ජල ධාරිතාව ඝන මීටර් 90,000 සිට 75,000 දක්වා අඩු කිරීමට බලධාරීන්ට සිදු වී තිබෙනවා. කෙසේ වෙතත් ලබුගම ජලාශයේ තවත් දින 45කට ප්‍රමාණවත් තරම් ජලය පවතින බැවින් කොළඹ නගරයට ජල කප්පාදුවක් සිදු කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.














