‘දිට්වා’ (DITVA) ආපදා තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් බලපෑමට ලක් වූ මහනුවර අධිකරණ සංකීර්ණයේ වර්තමාන තත්ත්වය සහ එහි අලුත්වැඩියා කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඊයේ (12) පස්වරුවේ සිදු කළ මෙම සංචාරයෙන් අනතුරුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සහ මහනුවර මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී අධිකරණ සංකීර්ණයේ අලුත්වැඩියා කටයුතු ඉදිරි මාස පහ ඇතුළත අවසන් කිරීමට තීරණය කෙරුණු අතර, සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති විදුලි සෝපාන (Lifts) සහ වායු සමීකරණ පද්ධති කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ද උපදෙස් ලබා දී තිබේ. මීට අමතරව ගංවතුරින් හානි වූ අනෙකුත් යටිතල පහසුකම් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්, නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය එක්ව සිටි අතර, පවතින අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් යටතේ වුවද අධිකරණ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.














