පසුගියදා බලපෑ දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ මහවැලි ගඟේ අධික ජල කඳට හසුව හානියට පත් වූ මහනුවර ඓතිහාසික ‘කළු පාලමේ’ ප්‍රතිසංස්කරණ කටයුතු හදිසියේම නවතා දමා තිබේ. වසර 150කට වඩා පැරණි මෙම යකඩ පාලම පිළිසකර කිරීම සඳහා එක්ව සිටි ඉංජිනේරුවන් සහ නිලධාරීන් වැඩබිමෙන් ඉවත්ව ගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ඉදිකිරීම් කටයුතු නතර වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාලමේ ආධාරක කුළුණුවල පවතින පැරණි ගල් ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර ලබා නොදීමයි. පාලමේ පැරණි පෙනුමට හා පුරාවිද්‍යාත්මක වටිනාකමට හානි වන බව පවසමින් මතුව ඇති මෙම ගැටලුව නිසා එළඹෙන මැයි හෝ ජූනි මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබූ වැඩපිළිවෙළ තවත් මාස කිහිපයකින් ප්‍රමාද වීමේ අවදානමක් පවතී.
පාලමේ වැඩ කටයුතු කඩිනම් කිරීම සඳහා අදාළ ඉදිකිරීම් ආයතන සහ සේවකයන් දිවා රාත්‍රී මෙහෙයුමක නිරත වුවද, පවතින නෛතික හා පරිපාලනමය බාධා හේතුවෙන් වැඩබිම අකර්මන්‍ය වී ඇත. මීට පෙර පාලම හානියට පත්වීමත් සමඟ කොළඹ සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය මාස කිහිපයක සිට රඹුක්කන දක්වා පමණක් සීමා කර තිබූ අතර, මෙම ප්‍රමාදයත් සමඟ මහනුවර දක්වා දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්වීම තවදුරටත් කල් යනු ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය මගීන් සහ මහනුවර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර, අදාළ දෙපාර්තමේන්තු අතර සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් මෙම ගැටලුව කඩිනමින් විසඳන ලෙස ජනතාව ඉල්ලා සිටිති.















