නුවරඑළිය, ලබුකැලේ වතුයායේ යුකැලිප්ටස් ගසකට අකුණු සැර පතිත වීමෙන් ඒ අසලින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.
නුවරඑළිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපය පුරාම පැවති අධික වියලි කාලගුණය සහ දැඩි උණුසුම්කාරී තත්ත්වය අවසන් කරමින් ඊයේ (අප්‍රේල් 02 වැනිදා) පස්වරු 03:00 සිට 04:00 දක්වා කාලය තුළ ප්‍රදේශයට තද වැසි ඇද හැලී ඇති අතර, මෙම අනතුර සිදු වී ඇත්තේ එම වර්ෂාවත් සමඟයි.
පසුගිය දිනවල පැවති දැඩි වියලි කාලගුණය හේතුවෙන් නුවරඑළියේ එළවළු වගාවට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑම් එල්ල වී තිබූ අතර, මුළු ප්‍රදේශය පුරාම උග්‍ර පානීය ජල හිඟයක්ද මතු වී තිබුණා. මෙම වැසි සහිත කාලගුණයත් සමඟ එම පීඩාකාරී තත්ත්වයට තරමක සහනයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.














