පාකිස්ථානයේ කරච්චි නුවරට ඇදහැලුණු තද වැසි සහ දැඩි සුළං හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (18) රාත්‍රියේ සිදුවූ මෙම ආපදා තත්ත්වය හමුවේ නිවාසවල වහලවල් සහ තාප්ප කඩා වැටීම, විදුලි සැර වැදීම සහ ගස් කඩා වැටීම හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව වාර්තා වේ. සයීදාබාද් ප්‍රදේශයේ දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදාගැනීම සඳහා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් පවත්වයි. ඉදිරි පැය කිහිපය තුළ ද ප්‍රදේශයට තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව පාකිස්ථාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.














