27 April 2024
#දේශීය

කසිප්පු,ප්ලේන් ටී අරන් යන්නෙත් ෂොපිං බෑග්වල- මහින්ද අමරවීර කියයි

මෙම වසර තුළ ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කිරීම අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගිය සතියේ පරිසර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ” වර්තමානයේ ඇතැම් වැඩ පොළවල්වල සේවය කරන කම්කරුවන් විශාල පිරිසක තේ දමා ගෙන යන්නේ කුඩා ෂොපිං බෑග්වල . බොන්නේ ප්ලාස්ටික් ස්ට්‍රෝ එකෙන්. මේ ෂොපිං බෑග් රත්වන විට ප්‍රතික්‍රියා කිරීම නිසා විවිධ අහිතකර රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්න පුලුවන්. තේ එක බීලා ෂොපිං බෑග් එකයි බීම බටෙයි ඉවතට වීසි කරනවා.

ඒ වගේම තමයි සමහරු කසිප්පු අරගෙන යන්නෙත් ෂොපිං බෑග්වල. ඒ වැඩෙත් එහෙමයි. මධ්‍යසාර ප්ලාස්ටික් සමග ප්‍රතික්‍රියා කරන්න පුලුවන්. ඒ වගේම කසිප්පු බීලා ඒ ෂොපිං බෑග් එකත් විසි කරන්නේ පරිසරයට. එමනිසා අපේ රටේ පරිසරයට වගේම මිනිස් සෞඛ්‍යයට අහිතකර මෙම ලන්ච් ෂීට් හා සිලි සිලි බෑග් තහනම් කළ යුතුව තිබෙනවා. ෂොපිං බෑග් හා ලන්ච් ෂීට් ප්‍රතිචක්‍රියකරණයට භාජනය වන්නේ නැහැ. මහජනතාව පරිහරණය කරන මේ ද්‍රව්‍යවලින් සියයට 98ක්ම බැහැර කරන්නේ පරිසරයටයි.

අනිත් කාරණය තමයි ලන්ච්ෂීට් කඩෙන් මිල දී ගන්නා කිසිවෙක් ඒවා පරිහරණය කරන්නේ සෝදා ගැනීමෙන් අනතුරුව නොවෙයි. ඒවා සෝදා පිරිසිදු කිරීමත් අපහසුයි. ලන්ච්ෂීට් භාවිතයට ගන්නා විට එහි සුදුපාට කුඩු විශේෂයක් තැවරී තිබෙනවා. මේ වනතෙක් කිසිදු ආයතනයක් එම කුඩු වර්ගය කුමක්ද ? කියා හෝ ඉන් ඇතිවන අහිතකර බලපෑම් සම්බන්ධව කරුණු පැහැදිළි කර නැහැ. නමුත් මේවා මිනිසුන්ගේ ශරීර අභ්‍යන්තරයට ගිය විට ඇති විය හැකි සෞඛ්‍ය ගැටළු සම්බන්ධව පැහැදිළි කිරීමක් විද්‍යාත්මක දැනුමක් සහිත පුද්ගලයින් විසින් සිදු කළ යුතුයි.

කෙසේ වුවත් 2017 සිට මෙම ලන්ච්ෂීට් හා සිලි සිලි බෑග් සම්බන්ධව අපි එම සමාගම් සමග සාකච්ඡා කළා. නමුත් මෙම සමාගම් කිසිදු අවස්ථාවක විකල්ප නිෂ්පාදන සම්බන්ධව අවධානය යොමු කර නැහැ. එමනිසා නැවත සහන කාලයක් ලබා දෙන්න අපි පියවර ගන්නේ නැහැ. මෙම වසරේ ඉදිරි කාලය තුළ මෙම නිෂ්පාදන දෙකම අපි තහනම් කිරීමට පියවර ගන්නවා.

දැන් වෙනත් සමාගම් විකල්ප යෝජනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒවා අතර පරිසර හිතකාමී, ඉක්මණින් දිරාපත්වන නිෂ්පාදන රැසක් තිබෙනවා. එම නිෂ්පාදන තාක්ෂණය අනෙකුත් සමාගම්වලටත් ලබා දීමට ඔවුන් කැමැත්ත පළ කර තිබෙනවා. එමනිසා අපිට මෙම පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීම හා පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීමේ වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න පුළුවන් වේවි යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *