රුපියල් විසිපන් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (02) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි යතුරුපැදි සයිලන්සර් අලුත්වැඩියා කරන්නෙකු බව අනාවරණය වී ඇත.
සැකකරු අද දහවල් 12:30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක වෙත පැමිණ තිබුණි. ඔහු රැගෙන ආ ගමන් මලු හතරක තිබූ යතුරුපැදි සයිලන්සර් 16ක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ කිලෝග්‍රෑම් 25යි ග්‍රෑම් 500ක් බරැති මෙම මත්ද්‍රව්‍ය තොගය රේගු පරීක්ෂාවකදී සොයා ගැනීමට හැකි වී තිබේ.
මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත. තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමේ ජාලය පිළිබඳව ද පොලිසිය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.













