කොස්ගම පොලිස් වසමට අයත් ප්‍රදේශයකදී කැලණි ගඟේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දියේ ගිලී අතුරුදන් වී තිබේ. ඊයේ (04) සවස් කාලයේදී මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇති බව කොස්ගම පොලිසිය වාර්තා කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ වත්තල, මාබෝල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ වෝහාරික විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන සිසුවෙකු බව තහවුරු වී ඇත.
පොලිස් විමර්ශනවලට අනුව, අදාළ සිසුවා ඇතුළු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විශේෂ අධ්‍යයන කටයුත්තක් සඳහා කොස්ගම ප්‍රදේශයට පැමිණ තිබේ. ඔවුන් මාස දෙකක පමණ කාලයක සිට ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිට ඇත. ඊයේ සවස සිසුන් දෙදෙනෙකු දිය නෑම සඳහා කැලණි ගඟට බැස ඇති අතර, එහිදී එක් සිසුවෙකු ප්‍රබල සැඩ පහරකට හසුව දියේ ගිලී අතුරුදන් වී තිබේ.
අතුරුදන් වූ සිසුවා සෙවීම සඳහා කොස්ගම පොලිසිය සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් එක්ව මෙහෙයුමක් ආරම්භ කළ අතර, ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව අද (05) උදෑසන සිට සෝදිසි කිරීම් තවදුරටත් දැඩි කර ඇත. කොස්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














