සුප්‍රකට රොක් සංගීතවේදී කිඩ් රොක්ගේ නැෂ්විල් (Nashville) හි පිහිටි පෞද්ගලික නිවසට අතිශය සමීපව ඇමෙරිකානු හමුදාවට අයත් AH-64 ඇපාචි (Apache) ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කිරීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි මතභේදයක් හටගෙන තිබේ. කිඩ් රොක් විසින් පසුගිය සෙනසුරාදා සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද වීඩියෝවක දැක්වෙන්නේ ඔහුගේ නිවසේ එළිමහන් පිහිනුම් තටාකය අසල ඉතා පහළින් මෙම හෙලිකොප්ටර් යානා සැරිසරන ආකාරයයි.
එම අවස්ථාවේදී ඔහු ප්‍රීති වෙමින් හමුදා උත්තාචාර පුද කරන අයුරු ද එහි දැක්වේ. මෙම සිදුවීමත් සමඟ ඇමෙරිකානු හමුදාව (US Army) වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර පෞද්ගලික නිවසක් අසල මෙලෙස හමුදා යානා මෙහෙයවීමේදී නිසි ප්‍රොටෝකෝල (Protocols) අනුගමනය කර ඇත්ද යන්න පිළිබඳව ඔවුන් අවධානය යොමු කර ඇත. හමුදා ප්‍රකාශක මේජර් මොන්ට්‍රෙල් රසල් (Maj. Montrell Russell) සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව හමුදාව දැනුවත් බවත් ඒ පිළිබඳව විධිමත් සමාලෝචනයක් සිදු කරන බවත්ය.














