බක් මාසයේ උදාවත් සමඟ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ ආගමනය සනිටුහන් කරන ප්‍රධානතම සංකේතයක් වන්නේ කොවුල් නාදයයි. කෙසේ වෙතත්, පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ කොහා නාද කරන කාලයෙහි පැහැදිලි වෙනසක් සිදුව ඇති බව පරිසරවේදීන් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් අවුරුදු සමයට මාසයකට පමණ පෙර සිටම කොවුල් නාදය ඇසුණද, මෙවර එම තත්ත්වයෙහි යම් ප්‍රමදයක් හෝ වෙනසක් දක්නට ලැබෙන බව ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබේ.
පක්ෂි විද්‍යාඥයන් පවසන පරිදි කොහා හෙවත් කෝකිලයා යනු පරපුටු පක්ෂියෙකි. උන් සිය බිත්තර දැමීම සඳහා කපුටන් වැනි වෙනත් පක්ෂීන්ගේ කූඩු භාවිත කරන අතර, බක් මාසයේදී කොහා නාද කරන්නේ ප්‍රධාන වශයෙන්ම සිය විරුද්ධ ලිංගිකයා ආකර්ෂණය කරගැනීම සඳහායි. මෙම නාදය අලුත් අවුරුදු සංස්කෘතිය සහ ජන ජීවිතය සමඟ තදින්ම බැඳී පවතී.
වර්තමානයේ සිදුවන දේශගුණික විපර්යාස සහ පරිසර පද්ධතීන්හි වෙනස්වීම් මෙලෙස පක්ෂීන්ගේ හැසිරීම් රටාවන් සහ නාද කරන කාල වකවානු වෙනස් වීමට බලපා ඇති ප්‍රධාන සාධක විය හැකි බව පරිසරවේදීහු වැඩිදුරටත් අනුමාන කරති. නූතන අවුරුදු ප්‍රචාරණ කටයුතුවලදී පවා කොවුල් නාදය ප්‍රමුඛ ස්ථානයක් ගත්තද, සොබාදහමේ සිදුවන මෙම වෙනස පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඔවුන් පෙන්වා දෙයි.














