තම හිතවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අයත් රුපියල් ලක්ෂ 9කට අධික වටිනාකමකින් යුත් රන් මාලයක්, ඔහුගේ අනුදැනුමකින් තොරව උකස් තබා මුදල් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක ඇප මත මුදාහැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (30) නියෝග කළේය. තලංගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ රන් මාලය නැවත ලබා නොදීම හේතුවෙන් එම ක්‍රිකට් ක්‍රීඩකයා විසින් තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. සැකකාර රංගන ශිල්පිනිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අදාළ මාලය උකස් කර ඇති බවත් එය බේරාගෙන නැවත එහි හිමිකරුට ලබාදීමට තම සේවාදායිකාවට හැකියාව පවතින බවත්ය. ඒ අනුව ඉදිරි නඩු වාරයේදී මාලය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තා කරන ලෙස අධිකරණය පොලිසියට දැනුම් දී තිබේ.














