5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ සුදුසුකම්ලාභී දරුවන් සිටියදී, අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අඩු ලකුණුලාභී දරුවන් පිරිසක් කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරුණේ එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියක ද වන චන්දනී රූපිකා සත්කුමාර නැමැති සැකකාරියයි. ඇයට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා, ඇයගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, 2022 වසරේ ශිෂ්‍යත්වය සමත් දරුවන් සිටියදී 2023 වසරේ 6 ශ්‍රේණිය සඳහා අඩු ලකුණු සහිත දරුවන් 7 දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීම හරහා ‘දූෂණය’ නැමැති වරද සිදුකර ඇති බවයි. පාසලේ පුරප්පාඩු 19ක් ඇති බවට ලිපියක් සකස් කරමින්, චක්‍රලේඛ මඟහැර මෙම බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබාගෙන ඇති බව ද එහිදී අනාවරණය විය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ මෙම බඳවා ගැනීම් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සිදුකළ බවයි. කෙසේ වෙතත්, අදාළ අනුමැතිය ලබාගැනීමේදී ද දත්ත විකෘති කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කළේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශනවල ප්‍රගතිය ලබන අගෝස්තු 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.














