කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට 2023 වසරේ 6 ශ්‍රේණිය සඳහා ශිෂ්‍යත්ව ලකුණු අඩු දරුවන් හත් දෙනෙකු ඇතුළත් කර ගනිමින් දූෂණය නම් වරද සිදු කළේ යැයි චෝදනා ලැබූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය (හිටපු විදුහල්පතිනි) චාන්දනී රූපිකා සත්කුමාර මහත්මිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (30) නියෝග කළේය. රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇය මුදා හැරුණු අතර, සැකකාරියට විදේශ ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය පියවර ගත්තේය.
අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සුදුසුකම් ලත් දරුවන් සිටියදී පාසලේ පුරප්පාඩු 19ක් ඇති බවට ලිපි සකස් කරමින්, අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් මෙම බඳවා ගැනීම් සිදු කර ඇති බවයි. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙය අධ්‍යාපන අමාත්‍යාංශ අනුමැතිය මත සිදු වූවක් බව පැවසුවද, එම අනුමැතිය ලබා ගැනීමට වැරදි තොරතුරු ඉදිරිපත් කර ඇති බව අල්ලස් කොමිසම අවධාරණය කළේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, විමර්ශන ප්‍රගතිය ලබන අගෝස්තු 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.














