වර්තමාන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ. මීට වසර 10කට පෙර එනම් 2016 වසරේදී ඔහු සිදුකළ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මෙම නඩුව පවරා ඇත.
චෝදනාවට අනුව, කුමාර ජයකොඩි මහතා 2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු ලෙස සේවය කළ සමයේ එම සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුවක් පෞද්ගලික සමාගමකට වාසි සැලසෙන අයුරින් ලබා දී තිබේ. මෙම ක්‍රියාව හරහා රජයට රුපියල් 8,859,708ක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා පනතේ 70 වැනි වගන්තිය යටතේ එන ‘දූෂණය’ නමැති වරද ඔහු විසින් සිදුකර ඇති බවට කොමිසම චෝදනා කරයි.
මෙම නඩුවට අදාළව ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සහ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් දක්වන නිල ප්‍රතිචාරය පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමු වී පවතී.













