2026 යල කන්නය සඳහා පොහොර බෙදා හැරීම සහ මිල නියාමනය සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
පවතින ගෝලීය යුදමය වාතාවරණය හමුවේ වුවද, ගොවීන්ට සහනයක් සැලසීම සඳහා පොහොර මිටියක මිල රුපියල් 9500ක මට්ටමක පවත්වා ගැනීමට සියලුම පොහොර සමාගම් මෙහිදී සිය එකඟතාව පළ කළහ
අනිසි ලෙස පොහොර තොග රැස් කිරීම සහ වැඩි මිලට විකිණීම වැළැක්වීම සඳහා විධිමත් සමීක්ෂණයක් පැවැත්වීමටත්, සෑම අලෙවියකදීම නිල ලදුපතක් නිකුත් කිරීම අනිවාර්ය කිරීමටත් තීරණය විය
වී වගාවට අමතරව අතිරේක බෝග, එළවළු සහ අපනයන බෝග වගා කරන ගොවීන්ට ද හිඟයකින් තොරව පොහොර ලබා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කෙරේ
අස්වනු නෙලීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ තොරතුරු ගොවි සංවිධාන මගින් ලබාගත හැකිය
වෙළඳපොළේ පවතින වල්නාශක සහ පළිබෝධනාශකවල ප්‍රමිතිය හා මිල නියාමනය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා දැඩි අධීක්ෂණයක් සිදු කිරීමට ද මෙහිදී අවධාරණය කෙරිණි
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නාමල් කරුණාරත්න සහ අරවින්ද සෙනරත් විතාරණ යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.














