වී අස්වැන්න නෙළාගත් සැණින් වී මෝල් හිමියන්ට විකිණීමේ සම්ප්‍රදායික ක්‍රමය වෙනුවට, අස්වැන්න නිසි පරිදි වියළා ගබඩා කර පසුව විකිණීමේ ක්‍රියාවලියක් ගොවීන් වෙත හඳුන්වා දිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අමාත්‍යාංශ ප්‍රතිපාදන වැය කිරීමේ සැලසුම් පිළිබඳව පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙම වසරේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් රජය දැවැන්ත ප්‍රතිපාදන රැසක් වෙන් කර ඇති අතර, ආහාර සුරක්ෂිතතාව සහ තාක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 300ක් ද, වී ආරක්ෂණ තොග පවත්වා ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් ද වෙන් කර තිබේ. මීට අමතරව තරුණ කෘෂි ව්‍යවසායකත්ව ණය සඳහා රුපියල් මිලියන 750ක් සහ භෝග රක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 3,000ක් වෙන් කර ඇත.
පශු සම්පත් අංශයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක වන ‘Dairy Hub’ වැඩසටහනට රුපියල් මිලියන 1000ක් වෙන් කර ඇති අතර, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළ සංවර්ධනය සඳහා ද තවත් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබේ. බඩල්ගම කිරි කර්මාන්තශාලාවේ ඉදිරි කටයුතු ද මෙවර අයවැය ප්‍රතිපාදන මඟින් ශක්තිමත් කෙරේ.
වාරිමාර්ග ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සහ දුම්බර හරිත සවිබලගැන්වීමේ ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම සියලු ව්‍යාපෘති හරහා දේශීය ගොවියා බලගැන්වීම සහ රට ආහාර අතින් ස්වයංපෝෂිත කිරීම රජයේ මූලික අරමුණ වී තිබේ.














