ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ (11) දිනයේදී දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි සැපයුමට බාධා එල්ල වී තිබේ. වාර්තා වන අන්දමට ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම සහ අනුරාධපුර යන ප්‍රදේශවල මෙලෙස විදුලි බිඳවැටීම් සිදුවී ඇති අතර, මේ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ව්‍යාපාරික කටයුතු ද දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් මේ වන විට දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විදුලි අංශයේ සේවකයින් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇති අතර, ඉල්ලීම් 62කට එකඟතාවය පළ වී තිබුණ ද වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වීම මෙම තත්ත්වයට හේතු වී ඇත. ඇනහිට ඇති විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා තාක්ෂණික කණ්ඩායම් යොදවා ඇති බව බලධාරීන් ප්‍රකාශ කළ ද, පවතින සේවක වර්ජනය හමුවේ දහස් සංඛ්‍යාත නිවෙස්වලට සහ ආයතනවලට තවමත් එහි බලපෑම එල්ල වෙමින් පවතී.














