බිස්කට්, අයිස් ක්‍රීම් සහ චොක්ලට් ඇතුළු රස කැවිලි නිෂ්පාදනවල මිල ගණන් ලබන මැයි මාසය දක්වා ඉහළ නොදමන බව ලංකා රස කැවිලි හිමියන්ගේ සංගමය රජයට සහතික වී තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ ඊයේ (26) පැවති විශේෂ සාකච්ඡාවකදී එම සංගමයේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළහ. මැදපෙරදිග කලාපීය යුද ගැටුම් හමුවේ පවතින ගෝලීය අර්බුදය හමුවේ වුවද, උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී පාරිභෝගිකයාට සහනයක් සැලසීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යාම මේ මොහොතේ ජනතාවට දරාගත නොහැකි බැවින්, කර්මාන්තකරුවන් රැකගනිමින් පාරිභෝගිකයා පීඩාවට පත්වීම අවම වන ලෙස කටයුතු කිරීම රජයේ අපේක්ෂාව බවයි. කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු විසඳීමට රජය මැදිහත් වන බව පැවසූ අමාත්‍යවරයා, දුෂ්කරතා මධ්‍යයේ වුවද ජනතාව ගැන සිතා තීරණ ගැනීම පිළිබඳව සංගමයට ස්තූතිය පළ කළේය.
ලංකා රස කැවිලි හිමිකරුවන්ගේ සංගමයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා සඳහන් කළේ මෙම කර්මාන්තය හරහා ලක්ෂ පහකට අධික පිරිසක් වක්‍රව යැපෙන බවත්, මෙරට අවශ්‍යතාවයෙන් 95%ක්ම දේශීයව නිෂ්පාදනය කරමින් රට ස්වයංපෝෂිත කිරීමට තමන් දායක වන බවත්ය. විදුලි ගාස්තු, අමුද්‍රව්‍ය මිල සහ නැව්ගත කිරීමේ ගාස්තු ඉහළ ගියද, අලුත් අවුරුදු සමය වෙනුවෙන් දැනටමත් නිෂ්පාදන බෙදාහරිමින් පවතින බැවින් මැයි මාසය දක්වා මිල සංශෝධනයක් සිදු නොකරන බව ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, මැයි මාසයෙන් පසුව පවතින ආර්ථික සාධක සලකා බලා මිල ගණන් පිළිබඳව නැවත තීරණය කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
නිෂ්පාදන බෙදාහැරීමේ කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමේදී පවතින ගැටලු විසඳා දෙන ලෙසත්, රේගුවෙන් අමුද්‍රව්‍ය නිදහස් කර ගැනීමේ ප්‍රමාදයන් අවම කර දෙන ලෙසත් කර්මාන්තකරුවෝ මෙහිදී රජයෙන් ඉල්ලීමක් කළහ. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර දීමට රජය කඩිනමින් මැදිහත් වන බවයි.


















