ඇමෙරිකාවේ ලාස් වේගාස් නුවර වින්ග් ඇන්ඩ් ලිලී ෆොන්ග් (Wing and Lilly Fong) ප්‍රාථමික විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ගුරුවරයෙකු වන 51 හැවිරිදි කා නැම් න්ගුයෙන් (Kha Nam Nguyen), සිය පන්තියේ සිසුවියන්ට ලිංගික හිරිහැර කිරීම සහ මාරාන්තික ආයුධ පෙන්වා බිය ගැන්වීම සම්බන්ධයෙන් චෝදනා ලබා අත්අඩංගුවට ගෙන තිබේ. අධිකරණ ලේඛනවලට අනුව මොහු පන්තියේ දැරියන්ට “Gold Diggers” ලෙස අපහාස කර ඇති අතර ඔවුන්ව බලහත්කාරයෙන් තම උකුලේ වාඩි කරවා ගැනීමට විවිධ “විකෘති ක්‍රීඩා” නිර්මාණය කර ඇති බව හෙළි වී ඇත. මීට අමතරව පන්තියේ විදුලි බුබුළු නිවා දමා විශාල පිහියක් අතැතිව “Knife-tag” නම් ක්‍රීඩාවක නිරත වෙමින් සිසුන් පසුපස හඹා ගොස් ඔවුන්ට පිහියෙන් ඇනීමට තැත් කරන බව පවසමින් බිය ගන්වා ඇති බව ද වාර්තා වේ.
සිසුන් කළ පැමිණිලිවලට අනුව මෙම ගුරුවරයා “Teddy Bear” නමැති ක්‍රීඩාවක් මුවාවෙන් තමන් බොරුවට හඬන බව පෙන්වමින් සිසුවියන් ලවා තමා වැළඳ ගැනීමට සලස්වා ඇති අතර ඉන් මිදී යාමට උත්සාහ කරන දැරියන්ව බලහත්කාරයෙන් අල්ලාගෙන තිබේ. ඇතැම් අවස්ථාවලදී සිසුන්ගේ ඩෙස්ක් පුටු පෙරළමින් සහ පොත්වලින් පහර දෙමින් සිය කෝපය මුදා හැර ඇති මොහු, සිසුවියන් කිසිවෙකු හෝ ප්‍රේම සබඳතා පවත්වන බව දැනගතහොත් ඔවුන්ගේ කොණ්ඩය කපා දමන බවට ද තර්ජනය කර ඇත. මෙම ගුරුවරයාගේ හැසිරීම් පිළිබඳව අනෙක් ගුරුවරුන් පවා මීට පෙර විද්‍යාලයේ පරිපාලනයට පැමිණිලි කර ඇති අතර ඔහු තමන්ට ද අනවශ්‍ය තෑගි ලබා දෙමින් අපහසුතාවයට පත් කළ බව එක් ගුරුවරියක් ප්‍රකාශ කර තිබේ.
මාර්තු 10 වනදා අත්අඩංගුවට ගත් න්ගුයෙන්ට එරෙහිව ළමා අපයෝජන චෝදනා හතක් සහ බාලවයස්කරුවන් සමඟ නීතිවිරෝධී සම්බන්ධතා පැවැත්වීමේ චෝදනා හතක් යටතේ නඩු පවරා ඇත. විමර්ශන නිලධාරීන් හමුවේ ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමා මේ සියල්ල කළේ පන්තියේදී “විනෝදයක්” (being funny) ලබා දීමට මිස කිසිවෙකුට හානි කිරීමට නොවන බවයි. කෙසේ වෙතත් සිසුවියන් පවසා ඇත්තේ ඔහුගේ අධික කෝපය සහ හැසිරීම් හේතුවෙන් තමන් නිරන්තරයෙන් බියෙන් පසු වූ බවයි.














