මැදපෙරදිග කලාපයේ උග්‍ර වන යුදමය වාතාවරණය හමුවේ ලෙබනන රජයේ හමුදාව සිය දේශසීමාවේ පිහිටි පෙරමුණේ මුරපොළවල් (Forward Operating Positions) හතකින් පමණ ඉවත් වී ඇති බව අද (මාර්තු 03) වාර්තා විය. ඊශ්‍රායල හමුදා ‘Operation Roaring Lion’ මෙහෙයුම යටතේ ලෙබනන දේශසීමාව තුළට ඇතුළු වීමට සූදානම් වීමත් සමඟ, තම සෙබළුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ලෙබනන හමුදා මූලස්ථානය මෙම තීරණය ගෙන තිබේ.
ලෙබනන හමුදා මූලාශ්‍ර උපුටා දක්වමින් අල්-ජසීරා පුවත් සේවය වාර්තා කර ඇත්තේ, දේශසීමාවේ ස්ථාපිත කර තිබූ “ප්‍රගතිශීලී මුරපොළවල්” අතහැර සෙබළුන් ආරක්ෂිත පසුපස කලාප කරා යොමු කර ඇති බවයි. එක් මුරපොළක සෙබළුන් 8ත් 9ත් අතර පිරිසක් රැඳී සිටි බව ද සඳහන් වේ. එමෙන්ම ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායෙල් කැට්ස් (Israel Katz) ප්‍රකාශ කර ඇත්තේ, ඊශ්‍රායල දේශසීමා ගම්මාන වෙත එල්ල වන හිස්බුල්ලා ප්‍රහාර වැළැක්වීම සඳහා ලෙබනනය තුළ තවදුරටත් ඉදිරියට ගොස් උපායමාර්ගික ප්‍රදේශ අත්පත් කර ගන්නා ලෙස තම හමුදාවට (IDF) නිල වශයෙන් අවසර ලබා දුන් බවයි.
මේ අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් බීරූට් නුවර පිහිටි හිස්බුල්ලා සංවිධානයට අයත් රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථාන ඉලක්ක කර අද දහවල් ප්‍රබල ප්‍රහාර එල්ල කර තිබේ. 2024 නොවැම්බර් මාසයේදී ඇති කරගත් සටන් විරාම ගිවිසුම ඊයේ (මාර්තු 02) දින නිල වශයෙන් අවසන් වීමත් සමඟ මෙම දරුණු ගැටුම් ආරම්භ වී ඇත.














