27 April 2024
#දේශීය

තරුණ වගා අරගලය අරඹමු – අමාත්‍ය රොෂාන්

රටක ජීවනාලිය වන තරුණ පරපුර වඩා ධනාත්මක ආකාරයෙන් රටේ සංවර්ධන සංග්‍රාමය සදහා දායක කර ගත යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ ‘‘අලුතින් හිතන තාරුණ්‍යට සරුසාර හෙටක්’’ ගොවි සතිය වෙනුවෙන් පැවති සාකච්ඡාවකදී ය.

තරුණ ගොවි සතිය නිර්මාණය විය. ‘‘අලුතින් හිතන තාරුණ්‍යට සරුසාර හෙටක්’’ තේමාපාඨයෙන් ඇරඹෙන මෙම වැඩසටහන හරහා සරුසාර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම සඳහා තරුණ තරුණියන් සුහුරු ගොවිපල ක්‍රමයට යොමු කර සුහුරු ගොවි තරුණයෙකු බිහි කිරීම මෙමගින් සිදු කෙරේ.

මෙය තරුණ වගා අරගලයක් ලෙස හැදින් වූ අමාත්‍යවරයා එහිදී පැවසූවේ ‘‘රටේ ආර්ථික අර්බුද හමුවේ තරුණ තරුණියන් කෘෂි කර්මාන්තය වෙත යොමු කිරීම තුළින් ජාතික අවශ්‍යතාවන් ආවරණය වන පරිදි තරුණ ගොවි බලකායක් නිර්මාණය කිරීම මගේ අපේක්ෂාවක්. මේ තුළින් තම නිවාස තුළ වගා කටයුතු ආරම්භ කිරීමට සමස්ථ තරුණ පරපුරම දිරි ගැන්වීම සිදු වෙනවා.
තමන්ට හිමි සෑම බිම් අගලකම වගා කටයුතු සිදු කිරීමට තරුණයින් හට ජාතික තරුණ සේවා සභාව හරහා අවශ්‍ය මගපෙන්වීම හා දායකත්වය ලබා දීමට මම කටයුතු කරනවා.‍ මිලියන 05 ක් වන රටේ තාරුණ්‍ය වගා අරගලය සදහා දායක කර ගැනීම මගේ බලාපොරොත්තුවයි. ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක මෙම වැඩසටහන මැයි 16 වනදා සිට මැයි 20 වනදා දක්වා සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ජාතික තරුණ සේවා සභාවේ ගොවිපොල 20 ක්, පුහුණු මධ්‍යස්ථාන 54 ක්, පළාත් කාර්යාල 10 ක්, දිස්ත්‍රික් කාර්යාල 26 ක් හා සම්බන්ධ කරගනිමින් මෙම වැඩසටහන පැවැත්විමට කටයුතු යොදා තිබෙනවා. අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත වගා සංග්‍රාමය මැයි 16 වන දින බිම් සකස් කිරිමේ කටයුතු සදහා ද මැයි 20 දින බීජ හා පැල සිටවීමේ කටයුතු ද සිදු කරනවා. මෙම තරුණ වගා අරගලය සදහා එක්වන ලෙස රටට ආදරේ තාරුණ්‍යයට මම ආරාධනා කරනවා’’ යැයි අමාත්‍යවරයා පැවසිය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *