චීනයේ හිටපු නායක මාවෝ සේතුංගේ (Mao Zedong) පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ලී රුයි (Li Rui) මහතාගේ වටිනා දිනපොත් එකතුව යළි චීනයට ලබා නොදී අමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ (Stanford University) තබා ගැනීමට එරට ෆෙඩරල් අධිකරණයක් ඊයේ (31) තීන්දු කළේය. වසර ගණනාවක් පුරා පැවැති මෙම නීතිමය සටන නිමාවට පත්වූයේ එම දිනපොත් චීනයට ලබා දුනහොත් ඒවා වාරණයට ලක්වනු ඇති බවට නැගුණු විරෝධතා මධ්‍යයේය.
ලී රුයි මහතා 1958 වසරේ සිට මාවෝ සේතුංගේ පෞද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ අතර, ඔහු වසර 80ක් තිස්සේ සිය දිනපොත් පවත්වාගෙන ගොස් තිබුණි. 1989 ටියැන්ඇන්මෙන් චතුරස්‍රයේ (Tiananmen Square) ශිෂ්‍ය මර්දනය සහ මිලියන 40ක පමණ පිරිසක් මියගිය මාවෝගේ ‘මහා පිම්ම’ (Great Leap Forward) කාර්මිකකරණ වැඩපිළිවෙළ පිළිබඳ විවේචනාත්මක තොරතුරු මෙහි අඩංගු වේ. චීන රජය විසින් මෙම තොරතුරු විනාශ කරනු ඇතැයි බියෙන්, ඔහු මියයෑමට පෙර මේවා ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ හූවර් ආයතනයට (Hoover Institution) පරිත්‍යාග කිරීමට සිය දියණියට උපදෙස් දී තිබුණි.
ලී රුයිගේ දෙවන බිරිඳ වන ෂැං යුෂෙන් (Zhang Yuzhen) විසින් මෙම දිනපොත් තමාට අයිති බව පවසමින් චීන අධිකරණයක නඩුවක් පවරා එය ජයග්‍රහණය කළාය. එහෙත් කැලිෆෝනියා අධිකරණය තීන්දු කළේ එම චීන නඩු තීන්දුව බලාත්මක කළ නොහැකි බවත්, දිනපොත් පරිත්‍යාග කිරීම ලී රුයිගේ අවසන් කැමැත්තට අනුව සිදුවූ නීත්‍යානුකූල ක්‍රියාවක් බවත්ය. මෙම තීන්දුවත් සමඟ නවීන චීන ඉතිහාසය පිළිබඳ වැදගත්ම තොරතුරු ඇතුළත් මෙම ලේඛන ලොව පුරා පර්යේෂකයන්ට නිදහසේ අධ්‍යයනය කිරීමට අවස්ථාව හිමි වේ.















