ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරන ලද ‘ලිය ශක්ති’ කාන්තා ව්‍යවසායකත්ව වෙළෙඳපොළ අද (07) උදෑසන මාතර වෙරළ උද්‍යානයේදී ආරම්භ විය. කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර කාන්තා ව්‍යවසායිකාවන් දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම ප්‍රදර්ශනය සහ වෙළෙඳපොළ අද සහ හෙට (08) යන දෙදින පුරා පැවැත්වෙන අතර ඒ සඳහා දිවයින පුරා විසිරී සිටින ව්‍යවසායිකාවන් 300කට අධික පිරිසකට සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජී. අයි. සජීවනී පෙරේරා යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් වූහ.
ප්‍රදේශයේ ජනතාවට සහ සංචාරකයන්ට දේශීය නිෂ්පාදන මිලදී ගැනීමට මෙන්ම කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇතැයි සංවිධායක මණ්ඩලය විශ්වාසය පළ කරයි.














