ඉරානය ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කිරීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් අද (07) ලන්ඩන් නුවරදී දැවැන්ත විරෝධතාවක නිරත වූහ. විරෝධතාකරුවන් ලන්ඩනයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය දෙසට පෙළපාලියකින් ගමන් කළ අතර, එහිදී ඔවුන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුදවාදී පිළිවෙත දැඩි ලෙස විවේචනය කරමින් සටන් පාඨ ඉදිරිපත් කළහ.
මෙම විරෝධතාවයේ සංවිධායකයන් අවධාරණය කළේ මෙය ඉරාන පාලන තන්ත්‍රයට සහය දැක්වීමක් නොව, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින විනාශකාරී යුදමය වාතාවරණයට එරෙහිව මානුෂීය පදනමකින් සිදුකරන මැදිහත්වීමක් බවයි. යුද්ධය වහා නතර කරන ලෙසත්, සාමකාමී විසඳුම් කරා එළඹෙන ලෙසත් විරෝධතාකරුවෝ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියහ. මෙම විරෝධතාව හේතුවෙන් ලන්ඩන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය අවට ආරක්ෂාව ද තර කර තිබුණි.














