මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවූ අමානුෂික ඝාතන සහ කොල්ලකෑම් මාලාවට එරෙහිව යුක්තිය ඉල්ලා අද (27) මඩකලපුව ගාන්ධි උද්‍යානය අසලදී සාමකාමී විරෝධතාවක් පැවැත්විණි. ප්‍රදේශවාසීන් සහ වින්දිතයන්ගේ ඥාතීන් විශාල පිරිසක් එක්ව සිටි මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ කොක්කඩිචෝලිය ප්‍රදේශයේ පාළු ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවීම සහ තවත් කාන්තාවකට මරු කැඳවීමට දැරූ උත්සාහය මුල් කරගනිමිනි.
මෙම අවස්ථාවට එක් වූ විපක්ෂ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම් මහතා ඇතුළු පිරිස, අපරාධ කල්ලි මගින් කාන්තාවන්ට එල්ල වන මෙම තර්ජනය වැළැක්වීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලමින් මඩකලපුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වෙත පෙත්සමක් ද භාර දුන්හ. සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් කාන්තාවක ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් තනිව ගමන් ගන්නා කාන්තාවන් ත්‍රීරෝද රථවල නංවාගෙන නිර්වින්දන ඖෂධ ලබා දී මත් කර, රන් භාණ්ඩ කොල්ලකා සිහිසුන්ව සිටියදී ළිඳට දමා ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මෙම සිද්ධියේ එක් වින්දිතයෙකු මියගොස් ඇති අතර, තවත් කාන්තාවක් මඩකලපුව ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිය තුන් හැවිරිදි දරුවා සමඟ ගමන් කළ තවත් මවකට ද මෙවැනිම ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර, එහිදී අතහැර දමා තිබූ දරුවා පසුව නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි විය. කොල්ලකන ලද රන් භාණ්ඩ ද සොයාගෙන ඇති අතර, මෙම සැකකරුවන් තවත් මෙවැනි අපරාධවලට සම්බන්ධ දැයි පොලීසිය වැඩිදුරටත් විමර්ශනය කරයි.














