යන්ත්‍ර භාවිතා කරමින් මාදැල් ඇදීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව මාදැල් ධීවරයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ආරම්භ කළ සත්‍යග්‍රහය ඊයේ (11) නව වැනි දිනටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ක්‍රියාත්මක විය. ට්‍රැක්ටරයකට සම්බන්ධ කරන ලද ‘වින්ච්’ (Winch) යන්ත්‍රයක් මඟින් මාදැල් ඇදීම නිසා පරිසර හානියක් වන බවට බලධාරීන් පවසන චෝදනා ප්‍රතික්ෂේප කරන ධීවරයන්, විද්‍යාත්මක හෝ තාක්ෂණික පදනමක් සහිත වාර්තාවක් පෙන්වන්නේ නම් පමණක් මෙම තහනම පිළිගත හැකි බව අවධාරණය කරති. පෘතුගාලය සහ බ්‍රසීලය වැනි රටවල පවා මෙවැනි තාක්ෂණික ක්‍රමවේද භාවිතා වන බව පෙන්වා දෙන ඔවුන්, විධිමත් තාක්ෂණික විකල්පයක් හඳුන්වා දෙන තෙක් පවතින ක්‍රමයට කර්මාන්තය කරගෙන යාමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිති.
විරෝධතාවයේ නිරත ධීවරයන් පෙන්වා දෙන්නේ කොරල්පර විනාශ වන බවට නගන චෝදනා පදනම් විරහිත බවයි. කොරල්පර පවතින ප්‍රදේශයක මාදැලක් පැටලුණහොත් දැල සම්පූර්ණයෙන්ම විනාශ වන බැවින්, තම කර්මාන්තයේ පැවැත්ම වෙනුවෙන් එවැනි ප්‍රදේශ තමන් විසින්ම මඟහරින බව ඔවුහු පවසති. කොළඹ වරාය නගරය ඉදිකිරීමේදී සිදුකළ වැලි කැණීම් නිසා සිදු වූ පරිසර හානිය වසා ගැනීමට ධීවරයන් බිල්ලට දීම අසාධාරණ බව පවසන ඔවුහු, මෙම තහනම නිසා රට වටා මාදැල් කර්මාන්තය අඩාල වීමෙන් ඉදිරියේදී මාළු මිල විශාල ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවති.
මෙම ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මාදැල් කර්මාන්තය සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට මීට පෙර අවසර ලබා දුන්නේ මත්ස්‍ය මිල පාලනය කිරීමටත්, ධීවරයන්ගේ ශ්‍රමය ඉතිරි කිරීමටත් බවයි. වත්මන් බලධාරීන් කර්මාන්තය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව ගෙන ඇති මෙම තීරණය නිසා විශාල පිරිසකගේ ජීවනෝපාය අර්බුදයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සම ද ඉල්ලා අස්කර ගෙන ඇති බැවින්, ජනාධිපතිවරයා මැදිහත් වී කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන තෙක් සිය සත්‍යග්‍රහය අත්නොහරින බව ධීවරයෝ තරයේ ප්‍රකාශ කරති.














