කුඩා හා මධ්‍යම පරිමාණ වාරි ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා රජය වෙන් කර ඇති රුපියල් මිලියන 3000ක මුදලින් වැඩි ප්‍රමාණයක් උතුරු පළාත වෙනුවෙන් වෙන් කිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. යුද සමයේදී විනාශයට පත් වූ වාරි පද්ධති යථා තත්ත්වයට පත් කර දෙන ලෙස උතුරේ ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.
පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උතුරු පළාත් මන්ත්‍රීවරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී විශේෂයෙන්ම ‘කිවුල් ඔය’ ජලාශ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙම ව්‍යාපෘතිය හරහා කිසිදු අයුරකින් ජන අනුපාතය වෙනස් කිරීමට හෝ පිටස්තර ප්‍රදේශවලින් පිරිස් ගෙනැවිත් පදිංචි කිරීමට රජයේ සූදානමක් නොමැති බවත්, එහි ප්‍රතිලාභ දැනට පදිංචි මුල් පදිංචිකරුවන්ටම හිමිවන බවත් මෙහිදී තහවුරු විය.
කිවුල් ඔය ව්‍යාපෘතිය නිම වීමෙන් පසු එම ප්‍රදේශයේ ගොවීන්ට යල මහ දෙකන්නයම වගා කිරීමේ අවස්ථාව උදාවන බව ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. ජනතාව මත කිසිදු ව්‍යාපෘතියක් බලෙන් පැටවීමට රජය කටයුතු නොකරන බවත්, යම් ගැටලුවක් පවතී නම් එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සූදානම් බවත් ඇමැති ලාල්කාන්ත මහතා වැඩිදුරටත් පැවසීය. උතුරු පළාත් මන්ත්‍රීවරුන් ද මෙහිදී අමාත්‍යවරයාගේ විවෘත ප්‍රවේශය අගය කරමින් සිය ප්‍රසාදය පළ කළහ.















