අලුත් අවුරුදු උදාව වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අද (13) දිනයේද අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමට සූදානම් බව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවසයි. මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කළමණාකාර සහකාර ඩී.එන්. වෙත්තසිංහ මහතා සඳහන් කළේ අද දින මගීන් පැමිණෙන තෙක් බස් රථ සූදානම් කර ඇති බවයි. විශේෂයෙන්ම හෙට (14) අලුත් අවුරුදු දිනයේ පවා දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ බල ඇණියක් සූදානම් කර ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් අද (13) උදෑසන කාලයේදී මාකුඹුර ප්‍රවාහන මධ්‍යස්ථානය වෙත පැමිණි මගීන්ගේ සංඛ්‍යාවේ විශාල අඩුවක් දක්නට ලැබුණු අතර මගීන්ට අවශ්‍ය තරම් බස් රථ මධ්‍යස්ථානය තුළ ගාල් කර තිබූ බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ විශාල පිරිසක් කොළඹින් බැහැරට ගමන් කිරීම හේතුවෙන් මෙලෙස මගී සංඛ්‍යාව අඩුවී ඇති බව විශ්වාස කෙරේ. නමුත් අවසන් මොහොතේ ගමන් කිරීමට බලාපොරොත්තු වන ජනතාව වෙනුවෙන් හෙට දිනයේදීත් බාධාවකින් තොරව ප්‍රවාහන පහසුකම් සැපයීමට බලධාරීන් කටයුතු යොදා ඇත.














